ආයෙ ආවා!

හම්මෝ දැක්ක  කල්, මේකෙ බිත්ති කළු ගැහිලා, සෙවලත් බැඳිලද කොහෙද? (ඉතින් මගේ බඩ කයිද?). බ්ලොග් ලියනවා තියා, මට වෙලා තියෙන්නෙ මක්කද කියල හිතන්ඩවත් කොයින්ද ඉස්පාසුවක්? ජනවාරියෙන් පස්සෙ හැම ලබුගෙඩියක්ම වෙනස් වෙලා. පළවෙනි මෙහෙයුම අසාර්ථක උනා. අවාසනාවවත්, බැරිකමවත් නෙවෙයි. කාලකන්නිකම. ජීවිතේට අකුරක් ඉගෙනගෙන නැති එකෙක් වගේ, පිස්සු විකාර හිත හිත, මනෝලෝකෙක සැරිසරන්ඩ ඉගෙන ගත්තෙ කවද්ද මන්දා?  සමහර විට යම් යම් සිද්ධි මේවට බලපාන්ඩත් ඇති. ලොකුවට නැතත් ඒ දවස්වලත් මෙහෙම වෙන්ඩ ඇති.ඕන උලව්වක් මගේ මොකෝ (ඒ දවස් වල නම් හෙන සෙල්ෆ් කොන්ෆිඩෑන්ස් එකක් තිබ්බ. දැන් එව්වගෙ කෑලිත් නෑ) (මාව කෑවා) . ලියන්ඩ  ඒවා නැත්තෙත් නෑ.  ඒත් ඉතින් කොහෙද ඕවට වෙලාවක්. මොන මගුලක් ද? එහෙම කියල බෑ. හිර කරන් ඉන්නවට වඩා එළියට දැම්මම හොඳා. ඒත් ඉතින් එළියට දාන්ඩ කලින් තේරුම් බේරුම් කරගන්ඩ එපායෑ. ඒ මදිවට මුළු ඔළුවම ෆෘට් සැලඩ් එකක් වෙලා තියෙන මේ වගේ වෙලාවක ආයෙත් විබාගයක් ලියන එක තරම් දුකක් තවත් නැතුව ඇති. අහෝ!  මේ කුමන නම් අබග්ගයක්ද? (වපුරපු හැටියට නෙව ඵල ලැබෙන්නෙ, පළවෙනි වතාවේ පව් දැන් තමයි  පඩිසන් දෙන්නේ). උගුරට එන ටික එළියට දැම්මේ මේ. නැත්තන් අමාරුයි. ආයෙ ඉක්කන්ටම එන්ඩෝනේ. මොකද ඉතුරු බුල්සිට් ටික එළියට දාන්ඩ ඔනානේ. නැවත හමුවෙමු!ඕර්වා!

ඔබ අමතන ග්‍රාහකයා කිසිදිනක සම්බන්ධ කළ නොහැක

images

හෙලෝ හෙලෝ මේ ඔලිම්පස් භවනද ? හෙලෝ හෙලෝ ඇහෙන්නේ නැද්ද,
– “යා සූ!! , ග්‍රීක භාශාවෙන් ඇමතීමට අංක එකද , ඉංග්‍රීසි භාශාවෙන් ඇමතීමට අංක දෙකද ,වෙනත් භාශා ඇමතීමට අංක තුනද, තේරෙන භාශාවෙන් ඇමතීමට අංක හතරද ඇතුල් කරන්න”
අල පෙති පෙති ගෝවා රැලි රැලි කිව්වලූ යකඩෝ ඔලිම්පස් කන්දේ ටෙලිෆෝන් ලයින් එකෙත් රෙකොර්ඩින්ග් එකක්ද යන්නේ, ඔලිව් කොළ කකා හිටියට මුන් දියුණු වෙලා තියන තරම්, දැන් කෝකද ඔබන්ඩෝනේ අහ්හ් හරි හරි හතර හතර.
” ටූක්” (ගීතයක් වාදනය වේ) *Σας έχω δείξει πόσο πολύ θέλετε* ඒ පාර ආදර ගීත දාගෙන පසුබිමට.

යා සූ!! ඔලිම්පස් භවනට ඇමතූ ඔබව සාදරයෙන් පිළිගනිමු!
දැන් ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න
දෙවිවරුන් මුණගැසීමට වෙන් කරවා ගැනීමට අංක එකද
දුරකතනෙන් ඇඩ්වයිසින් සේවාවට අංක දෙකද
ඕපදූප,යටිමඩි ගැසීම,කුමණ්ත්‍රන,ගිනිගෙඩි දීම් සේවාවට අංක තුනද
වෙනත් සේවාවන් සඳහා අංක හතරද ඇතුළත් කරන්න
“ටූක්” 2 …..මදක් රැඳී සිටින්න *Σας έχω δείξει πόσο πολύ θέλετε*

-යාසූ! , දුරකතනෙන් ඇඩ්වයිසින් සේවාට ඔබව සාදරෙන් පිළිගන්නවා මැඩම්, අපට ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න.

-යා සූ ! මට ඊරොස් සමග සම්බන්ධ වෙන්න පුළුවන්ද?

-ඔව් මදක් රැඳී සිටින්න මැඩම්….. අහ්හ් මැඩම් මේ වෙලාවෙ ඊරොස්ව නම් සම්බන්ධ කරන්න අමාරුයි මේ වෙලාවෙ එයා විශේෂ කටයුත්තකට එළියට ගිහින්,

– ආහ් ඒකත් එහෙමද දැන් මොකද කරන්නේ එහෙනම් මට වීනස් දෙව්දුවව සම්බන්ධ කරල දෙන්නකෝ ( පුතා එක්ක බැරි නම් අම්මා එක්ක බේරගන්නව අද දෙකෙන් එකක්) , –

හරි මැඩම් මදක් රැඳී සිටින්න……..
ට්‍රාං ට්‍රාං ට්‍රාං ට්‍රාං
ac1eba0e698b3dcbc3ea7833487ee67a

-යා සූව්ව්ව් ! ආදරයේ දෙවඟන කතා කරනවා….

-(යා සූ කියලම කට රිදෙනවා යකොව් ඒ උනාට ටිකක් වැදගත් විදිහට කතා කරන්ඩෝනේ) යා සූ !අහෝ වීනස් දෙව්දුවනී කෙසේද සැප සනීප? සාමෙන් සමගියෙන් සතුටෙන් වෙසේද? මං ඔබතුමීගේ දඩ ෆෑන් කෙනෙක් ( හැබැයි නප්පෙටම කෙල වෙච්ච නස්තාර් වෙච්ච )
-ඔව් දරුවා මා ඉතා හොඳින් , එතකොට ඔය දරුවත් හොඳින්ද ?

( යකොව් මං හොඳින් නම් මේ මගුලට කතා කරනව ඇයි බිල් ගෙවාගෙන )

-ඇත්තම කිව්වොත් නෑ දෙව්දුවනි මං මේ මේ…..

-ආහ් මට තේරෙනවා මට කියන්ඩ ඔය දරුවගේ ප්‍රශ්නේ මොකද්ද කියලා .

-ඇත්තම කිව්වොත් මට කතා කරන්න ඕන උනේ ඊරොස් එක්ක ඒ උනාට එයා නැහැයි කිව්ව

-(සියුස්ටම ඔප්පුවෙචාවේ මේකා යකෝ මේ දැන් නේ මෙතන ඉඳලා ගියේ මොකක් හරි ගිනිගෙඩියක් වෙන්ඩෝනේ)

– ඔබතුමී මොකාක් හරි කිව්වද ?

-ආහ් මේ නෑ නෑ මං මුකුත් කිව්වේ නෑ , ඉතින් මොකද්ද දැන් කිය කිය හිටියේ

-එක අතකට මේක ඔබතුමී එක්කම කතා කරන්න ලැබිච්ච එකත් හොඳයි මොකද එයා ඔබතුමීගේ පුතීනේ, (කාලකන්නියා) දැන් මේකයි ප්‍රශ්නේ ඔබතුමීගේ පුතා ඔය දුන්නයි ඊතල සෙට් එකයි අරන් හතර වටේ ජොබ්ලස් වෙච්ච පළියට රවුම් ගැහුවට අපිට වැඩ තියනවා ,එයා රවුම් ගහන්න බැරි නම් කොහේ මකබෑවිලා ගියත් මට කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි මේ පාඩුවේ ඉන්න අපිට පව් නොදී. මං මේ කතා කරන්නේ මං ගැනම විතරක් නෙවෙයි එයා හින්දා කෙල වෙච්ච හැමෝම වෙනුවෙන් මං මේ කතා කරන්නේ. මං මගේ පාඩුවේ ඉද්දි ඔයාගේ මහලොකු රත්තරන් පුතා මට අර ඊතලේකින් විද්දා , තුවාල වෙලා ලේ ගලලා ලොකු ප්‍රශ්නයක් උනා අන්තිමේදි මං ඊතලේ ගලව ගත්තේ පුදුම දහදුකක් විඳලා. හැබැයි අනිත් අදාළ පුද්ගලයට විදලා නෑ. මේකනේ මෙයා වැඩේ අපිට තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ ඔයාට තේරෙනවනේ මං මොකද්ද මේ කියන්න තටමන්නේ කියලා. හරි ඒක කමක් නෑ කියමු අමාරුවෙන් තුවාල හොඳ කරගෙන ඇඳෙන් නැගිටල ඇවිදින්න අරන් අවුරුද්දක් ගියේ නෑ ඔයාගේ පුතා ආයෙත් පොඩි එකෙක් වගේ සෙල්ලම් කරන්න පටන් ගත්තා, ආයෙත් කරේ මට විද්ද එක මේක හැමදාම කරන්න බෑනේ , මොකද එයා විදින්නෙම කවදාවත් මගේ ආවරණ කලාපෙටවත් එන්නෙ නැති ,ඇමතිය නොහැකි ග්‍රාහකයො දිහාවට,ඔයාම ටිකක් හිතල බලන්න මට මල පනින එක සාධාරණද නැද්ද කියලා.

-(නොදකිං මාත් හැදුවා නේ මේ වගේ තකතීරුවෙක් ) ඔව් ඔව් මට ඔය දරුව කියන දේ තේරෙනවා, මේකයි එයා ටිකක් හිතුවක්කාරයි මටවත් එයාගේ තාත්තටවත් එයාව ටිකක් ආන්ඩු මාට්ටු කරන්න අමාරුයි සෙල්ලම් වයසනේ ඉතින්….

– සෙල්ලම්? කොහෙ තියන සෙල්ලම් වයසක්ද? අනේ මැඩම් ඔයා මගෙන් මුකුත් අහගන්න එපා , ඔයාලට ඌව හදාගන්න බැරි නම් මිනිස් ලෝකෙට එවන්න එහේ සෙට් එක හොඳට හදලා ගනී හොදි ඕන්නෑ ඉතින්, අනික වැඩක් නැත්තන් තියන දෙයක් කාලා නිදාගන්න කියන්න පාඩුවේ ඉන්න මිනිස්සුන්ට පව් නොදී, කරනවනම් එයාගේ රජකාරිය හරියට කරන්න කියන්න, එක පැත්තක් විතරක් බර කරන්නේ නැතුව. අනික ඔයා ආදරයේ දෙවඟන නේද ඔයාගේ පුතා හින්දා අසරණ වෙන මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරන්න බැරිද, නමට විතරක් පට්ටම් තියාගෙන  වරප්‍රසාද භුක්ති විඳින්න ලැජ්ජ නැද්ද, රාජකාරිය හරියට කරන්න බැරි නම් ඕක ළමයෙකුට දීල ඔයා රිටයර් වෙන්න.අමතන්නැති ග්‍රාහකයෝ සෙට් කරලා විතරක් අහු වෙන්න එපා කියන්න ඔයාගෙ බබා උක්කුන් පුත්‍ර රත්නෙට.හැබැයි ආයෙ මොනවාම හරි උනොත් මුළු පෘථිවියම අරන් ඇවිල්ලා ඔයාලට හම්බෙන ජනප්‍රසාදෙයි , කොමිස්, අල්ලස්, බලිබිලි පූජා චැප්ටර්ස් ටික ක්ලෝස් කරලා දානවා ආයෙ දෙවියෝ දෙවියෝ කියලා බලන්නැතුව, ආයෙ නොකිව්වයි කියන්න එපා සැමන් ටින් ටිකක් හොයන් ඔලිම්පස් වල ඉඳන් අපායටම දුවන්න වෙයි. මං තිබ්බා!

-හම්මෝ අපේ ගොන් තඩියා කරන වැඩ හින්දා රෙද්ද ගැලවුනා නේ ඉතින් කෝ මේ පුතාලයි තාත්තා..,හෙෆැස්ටස්! හෙෆැස්ටස්! පැටියෝ ඔයා කොහෙද???
ආහ් මේ ඉන්නේ අනේ බබා ඔයා මෙතන දවසම යකඩ තල තල හිටියම හරිද අනේ අපේ ගොන් බූරුවා කරන වැඩ හින්දා අපිට මේ වැටිලා ඉන්න තැනකුත් නැති වෙයිද බයයි, රෙද්දක් ඇඳන් ඔලිම්පස් භවනේ යන්න නැති කරයි වගේ මූ.

-ඔයාගේ ඔය හුරතලේ තමයි ඔක්කොටම මුල මං මේ යකඩ තලන තාලෙට ඌවත් තලල ගත්ත නම් හරි තලන්නැතුව ළමයි හදන්න බෑ සිප්‍රිස් අනික ආයෙ ඔය හැම ග්‍රාහකයටම ප්‍රතිචාර දක්වන්ඩ යන්ඩ එපා, වාසියක් නම් විතරක් කතා කරන්න නැත්තන් බ්ලැක්ලිස්ට් දාලා දාන්ඩ , එතකොට ඇහෙයි ඔබ අමතන ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක කියලා, උන්ට උන්ගේම එවුන්වත් අමතන්නේ නැතිකොට අපි මොකටද බබා ඔය අනුන්ගේ පව් කරගහන්නේ ටේක් ඉට් ඊසි

-ඒකත් ඇත්ත තමයි, අපි මොකටද අනුන්ගේ කුණු කරගහන්නේ වරප්‍රසාද හම්බෙනවනම් , අනේ අනේ යකඩ තැලුවට මොකෝ මගේ මහත්තයගේ මොලේ තමයි මොලේ , අදම කියන්ඩෝනේ රිසෙප්ශන් එකට ඔය වැඩකට නැති ග්‍රාහකයෝ බ්ලැක්ලිස්ට් දාන්න කියලා.

මා අමතන කිසිඳු ග්‍රාහකයෙක් කිසිදාක සම්බන්ධ කල නොහැක!!!

තාත්තාට ආදරෙන්..

කලින් ලියපු එකට උදාහරණයක් වෙන විදිහේ දෙයක් ඊයෙ රෑ සිද්ධ උනේ. ඒත් මට හිතාගන්නවත් බැරි විදිහට තාත්තා මං වෙනුවෙන් කතා කරා කියලා නංගි කියද්දි මට කඳුළු ආවේ දුකටද සතුටද කියලා මම දන්නේ නැහැ. මං කවදාවත් තාත්තා ගැන කතා කරලා නැහැ . එහෙම හිතද්දි මට හිතෙනවා මං එයාට කරේ අසාධාරණයක්ද කියල. මනුස්සයෙක් ගැන කතාකරන්න හිතෙනවා කියන්නේ අනිවාර්‍යයෙන්ම ඒ මනුස්සයා තමන්ට දැනෙන දෙයක් කරා කියන තමයි. මං එයත් එක්ක කොච්චර තරහ අරන් ඇතිද ? මං එයාට විහිළුත් කරලා ඇති. ඒත් මට ඊයේ තේරුණා එයාට මං දුකෙන් ඉන්නවා බලන් ඉන්න බෑ කියලා. “ඔයා සද්ද නැතුව ඉන්න ලොකු පුතේ මං අම්මා එක්ක කතා කරලා බලන්නම්”ඒ වචන ටිකත් මට ඇති . එයා එහෙම කියද්දි මට හිතුන එකම දේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්  වැඩකට නැති විදිහට මං නාස්ති කරපු, මං ඒක දීපු මනුස්සයාට ඒකෙ වටිනාකමකුත් නැති වෙච්ච වෙලාවෙ ඇයි මට ඒක මගේ තාත්තට ගෙනැල්ලා දෙන්න බැරි උනේ කියන එක. මං නරක දුවෙක් ද තාත්තේ? මට වෙලාවකට ඔයත් එක්ක කේන්ති යනවා තමයි , ඒ උනාට ඔයාගෙන් බැනුමක් ඇහුවත් මං ටැප් එක ඇරියා වගේ අඬනවා ,මොකද මේ ලෝකේ තියෙන හැම දේකටම වඩා මං ආදරේ තාත්තට නිසා, ඊයේ රෑ වෙච්ච සිද්ධියට මම ඇවිත් ඇඟිලි ගැහුවේ නැති උනාට මං දන්නවා තාත්තා හුඟක් උත්සහ කරා කියලා.  මං තාත්තට කොච්චර ආදරෙයිද කියලා ඊයේ තමයි දැනගත්තේ.

_20161228_150641

මං පොඩි කාලේ ඔයයි අම්මයි වැඩට ගියාම මම හිටියේ ඩේ කෙයාර් එකක, අත්තයි , පුංචියි මට හැමතිස්සෙම කියනවා අම්මා මට හොරෙන් වැඩට ගියාම ඔයා හැමදාම යන්නේ පරක්කු වෙලාලු ඒ මං නිසා, ඔයා හැමදාම හෝමගම මහරගම ඩබල් ඩෙකර් එක එනකන්ම ඉඳල මාවත් අරන්ලු යන්නේ ඒ මං ඒකේ යන්න ආස නිසාලු. එහෙම පරක්කු වෙලා ගියාම බොස් බැන්නේ නැද්ද තාත්තේ? පුංචි කාලේ මොන්ටිසෝරි යන්න ඇඳුම් අන්දවන්නෙත් ඔයා. මට මතකයි ඔයා මට අන්දව අන්දව කියනවා “ජාති දාලා පත්තු දාලා ගමන් නනවෝ ගමන් නනවෝ” කියලා. අදටත් මං කොහේ හරි යන්න හැඩ වෙනකොට ඔයා අරෙහෙ ඉඳන් ඒක කියනවා. ඇයි මට එක එක විපරියාස නම් හදන්නේ ඕපාත කියයි , ජිංජිබිරිස් කියයි,සොටං කියයි, සිරිපාල කියයි පියදාස කියයි, ඉබ්බා කියයි ඌරුකොටා කියයි ( කොහෙන් කටට එනවද මන්දා , ශුවර් එකටම මටත් ඔය නම් හැදීමේ හැකියාව ඇවිල්ලා තියෙන්නේ ඔයාගෙන් තමයි ඔව් ) අදටත් මට නොකියන නමක් නෑනේ ජීවිතේටවත් අහලා නැති නම්. ඔයා තරම් මාව හිනාගස්සන්න පුළුවන් මනුස්සයෙක් මට තවම හම්බවෙලා නෑ.  කාටවත්ම බෑ ඔයාට තරම් මගේ ඇස් වලින් කඳුළු පනිනකන් මාව හිනස්සවන්න. ඇත්තම කිව්වොත් තාත්තා මම ඔයා තරම් සැහැල්ලු , විහිළු තහළු කරලා ඉන්න මනුස්සයෙක් කොහේවත් දැකලා නෑ, ඒ වගේම ඔයා තරම් පීඩනයක් හිතේ තදකරගෙන ඉන්න මනුස්සයෙක් මං දැකලත් නෑ.ඇඟපතිනුත් ඔයා ගොඩාක් වෙනස් වෙලා . නළුවා වගේ හිටපු ඔයාව අඩුම තරමේ පවුලේ මනුස්සයෙක්ටවත් අඳුරගන්න බැරි තරමට මහත් වෙලා. ඔයාට බැන්නා නම් මං බැන්නේ අන්න ඒ හේතුවට ඒ කියන්නේ  ඇඟ හදාගන්න කියන්න විතරමයි තාත්තේ. එහෙම හිතාගෙන හිතාගෙන යනකොට මට හිතෙනවා මං ඔයාගෙන් ගොඩාක් ඈත් වෙලාද කියලා , ඊයේ ඔයා මං වෙනුවෙන් කියපු කරපු දේවල් මට මේ තරමටම දැනෙන්නේ මං ඔයාගෙන් ඈත් වෙලා හිටපු නිසාද? මට මේ දේවල් ඔයාගෙන් කෙලින්ම අහන්න තිබ්බ නම් කියලා හිතෙනවා, ඒ උනාට මට දැන් එහෙම අහන්න තරම් කොන්දක් නැහැ වගේ දැනෙනවා. මට අදහස් ප්‍රකාශ කරන්න ලොකු බයක් තියෙනවා , කෙලින් තව කෙනෙක් වෙනුවෙන් කතා කරන්න පුළුවන්කමක් තිබ්බට මට මං වෙනුවෙන් කතා කරන්න තරම් හැකියාවක් නෑ තාත්තේ. මගේ හඬ අර පෙට්ටියට දාලා වහලා දාලා.

අනික මම දන්නවා ඔයා ආසයි මං ඉක්මනටම ලස්සනට ඇඳලා රස්සාවකට යනවා දකින්න කියලා, තව දෙයක් මම දන්නවා මුළු ලෝකෙම විරුද්ධ උනත් ඔයා කැමති මං මං කැමති රස්සාව කරනවා දකින්න කියලා, ඒක ඔයා මට කියලා තියනවා, ඔයා කරන්න කැමති දේ උපරිමේටම ඔයා යන්න , ඔයා රඟපාන්න කැමති නම් රඟපාන්න, ඩ්‍රාමා ස්කූල් එකකට යන්න , ඔයා ආස සින්දු කියන්න නම් ඔයා ආස ගිටාර් ප්ලේ කරන්න නම් ඔයා ඒ දේවල් කරන්න ඒ දේවල් ඉගෙන ගන්න , ඔයා හැමදාම කියන්නේ එහෙමයි. ඔයා හැමදාම කිව්වේ කැමති දේ කරන්න කියලා. මොන දේ කරත් ඔයා මගේ පස්සෙන්ම ඉන්නවා කියලා මං දන්නවා තාත්තා. ඔයා අපි දෙන්නව ඔයාගෙන් ඈත් කරන්න කැමති නෑ කියල මං හොඳටම දන්නවා, මොකද මං දවසක් ඔයා “මං මගේ කෙල්ලො දෙන්නව කාටවත් දෙන්නේ නෑ” කියලා අම්මත් එක්ක කියනවා මං අහගෙන හිටියා. එතකොට අම්මා හිනා වෙවී කිව්වා කෙල්ලො හැමදාටම අපේ ළඟ තියාගන්න බෑ කියලා, එහෙම කියද්දි මටත් හිනා ගියා හැබැයි එදා එහෙම කියද්දි ඔයාට මොනවා හිතෙන්න ඇද්ද කියලා ඊයේ සිද්ධියෙන් පස්සේ මට තේරුනා.තව දෙයක් හැම කරුනු කාරනාවක්ම එකට තියලා බලද්දි ඔයාගෙයි මගෙයි වෙනසක් නෑ තාත්තා. අපි දෙන්නම ඉන්නේ එකම තත්වෙක කියලා තේරුණා. ඒකට මොකද ඔයායි මායි තාත්තයි දුවයි නේ අපි දෙන්නට පුළුවන් වෙයි කවද හරි ගොඩ එන්න නේද? අනික මෙච්චරකල් මගෙන් මොකක් හරි වැරද්දක් උනා නම් ඔයාට පුළුවන් නම් මට සමාව දෙන්න , ඔයාගේ එක හීනයක් හරි මං හැබෑ කරලා දෙනවා ඒක ලොකුදුවගේ පොරොන්දුවක්.

චෝදනාවක්

_20161217_021803ලියන්ඩ දේවල් හිතේ තද වෙලා කොර වෙලා ඉන්නකොට හිතට නිදහසක් ඈත්තෙත් නෑ ලියන්ඩ වෙලාවක් ඈත්තෙත් නෑ.  නිදහසයි වෙලාවයි තියනකොට ලියන්ඩ ඒවා නෑ.  අර කිව්වත් වගේ මොන ජීවිතද බන් මේවා?  හැබැයි ඉතින් ලියන මනුස්සයෙක්ට ඕන වෙලාවක අදහස් තියනවා.  යකෝ එහෙමයි කියලා…  නෑ එක්කො ඕන්නෑ මොන මගුලක්ද ඕයි මට වෙලා තියෙන්නේ?  කන්ඩ හිතෙන්නෑ,  බොන්ඩ හිතෙන්නෑ,  මුකුත් කරන්ඩ හිතෙන්නෑ,  මොකෙක්වත් රුස්සන්නෙ නෑ, පව් අර සිඟිති ත්‍රස්තවාදියෝ දෙන්නා (ඥාති සහෝදරයන්). උන් දෙන්නත්  මේ දවස් ටිකේම මගෙන් බැනුම් ඇහුවා.  පව් පොඩි එවුන්.  බලන් යද්දි මන් හෙනම නරුමයෙක්නේ.  මන් මීට වඩා සාධාරණ වෙන්ඩෝනෙ. ඔය වෙලාවට තමයි හිතෙන්නේ ලේ නෑයෙක් නොවුනත් ලේ නෑයෙක්ටත් වඩා මන් ගැන හොයල බලන එකත් හිටියනම් කියලා.  එන්ඩ පුළුවන් දුරක හිටියනම් වරෙන් කියපු ගමන් පිස්සු ගෑනි වගේ දුවන් එයි “මොකද්ද බන් ප්‍රශ්නේ  කියාගෙන.  මක් කරන්ඩද ඒකිත් පේන තෙක් මානෙක නෑ. එහෙන් උඩු හිතයි යටි හිතයි මරාගන්නවා.  උඩු හිත කියන්නෙම ඕක අතඇරපන් ඕක හරි යන්නෑ කියල.  හා හරි කියලා ඔලුවත් වනලා අනිත් පැත්ත  හැරෙද්දි යටි හිත උඩු එකාට හොරෙන් කියනවා ඕකා කියන ඒවා විශ්වාස කරන්ඩ එපා ඌට පේන්නේ මතුපිට විතරයි මන් කියන එක අහලා ඉවසගෙන හිටපන් කියලා.  යකෝ මූ මතුපිට දැක්කා දැක්කා ගාන්නේ හරියට තමන් ඔක්කොම දැක්කා වගේනෙ.  ඉතින් බන් මෙච්චර කලුත් ඒකමනේ කරේ කෝ ඉතින් වෙච්ච සෙතක් නෑනෙ.නොදකිං යටිහිත උඹ නම්,  මාත් උඹ කියපු ඒවා අහලා උඩ දාගෙන බලන් හිටියා අද එයි හෙට එයි කියලා කෝ ආවද? ආවද? අනේ නිකන් පලයන් බන් යන්ඩ උඹ කියපු ඒවා අහලම මට දැන් ඇති වෙලා.  උඹ හින්දා මන් වැටිච්ච වැටිල්ල කොච්චරද කිව්වොත් මන් තාම වැටෙනවා යකෝ.  හා කියපන් මෙහෙම වැටෙන්න ගියම කොහොමද බන් මන් විභාගේ ෆේල් උනාම මට නිවාඩු දාගෙන අධෝමුඛෙනුත් එක්ක හිනා වෙන්ඩ බලන් ඉන්න ගෑණුන්ගෙ  ඇනුම් පද දරා ගන්නේ?  හා උත්තර දීපන් ඉතින් මේ හැම කෙහෙල් ඇවරියකටම වග කියන්ඩෝනෙ උඹ.  මොකද උඹ දෙපැත්ත  බලන්නේ?  ඔව් උඹ තමයි වග කියන්ඩ ඕන.  මගේම ඇතුළාන්තෙ ඉඳගෙන මටම මෙහෙම කරන එක හරිද බන් ආහ්? මට උත්තර දීපන් මට මගේ පාඩුවේ ඉන්ඩ දීපන් දෙයියනේ. උඹට ඉන්ඩ ඕන නම් නටන්නැතුව පාඩුවේ මන් කියන එක විතරක් කරගෙන ඉඳපන් නැත්තන් මේන් වැන්ඳා යන තූත්තුකුඩියක  නැති බංග වෙලා පලයන්.
එක්කො පොඩ්ඩක් හිටපන්.  උඹට බනින එකත් සාධාරන නෑ. මේවා මගේ වැරදි ඒත් මාත් මේවා පිට කරගන්න ඕනනේ එහෙමයි කියලා වටේ පිටේ හැම එකාටම බයින්නද බන් ඒකයි උඹව අල්ලගත්තෙ ඒත් මට එහෙම කාටවත් කෑගහලා හිතක් හදන් ඉන්න බෑ කියලා උඹ දන්නවනේ මට සමාවෙයන් හැබැයි මෙතන උඹටත් චෝදනාවක් තියනවා කියන එක විතරක් මතක තියා ගනින්!

ආනන්දය

ආනන්දය කියන්නේ සතුටට, ප්‍රීතියට එහෙමත් නැත්තන් ආශ්වාදයට කියල මම අහලා තියනවා.හැබැයි මං මේ කියන ආනන්දය ටිකක් වෙනස්.මම කියපු ආනන්දය හැඟීමක්.හැබැයි මේ අනාන්දය අධ්‍යාත්මිකවත්, භෞතිකවත් විඳින දෙයක් කියලයි මට හිතෙන්නේ.

photo

ඇත්තටම මම මේ කියන ආනන්දය ගැන මට කිසිම අත්දැකීමක් නෑ.ජීවිතේටවත් පය තියලත් නෑ.පිටකොටුව බස් එකක එහෙමත් නැත්තන් ගෙදර ඈයොත් එක්ක නම් ඔතනින් සිය දහස් වතාවකට වැඩිය ගිහින් තියනවා. එහෙම යනවා දකිද්දිත්, අනේ මේ පන්සල ඇතුළට යන්න තියනවනම් කියලා හිතිච්ච වාර අනන්තයි. මං අම්මයි, පුංචියි අතින් එතනින් යන හැම මොහොතකම ඒක කියලා තියනවා. අදටත් කියනවා.ඇත්තම කිව්වොත් මම ආනන්දේ ගැන මුකුත්ම දන්නේ නැතුව ඇති , ඔව් ඒක ඇත්ත , ඒ ඉස්කෝලෙ ඇතුළටවත් ගිහින් නැති මම වැලි කැටයක් තරම්වත් දන්නේ නැතුව ඇති,හැබැයි ,මගේ හිතේ තියන පැහැදීමයි හැඟීමයි හොඳටම ඇති කියලයි මට හිතෙන්නේ, එහෙව් මට මේ දන්න ටික හොඳටම ඇති. තව දෙයක් තමයි අනේ මාත් කොල්ලෙක් උනා නම් අඩුම තරමේ අයියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් කියලත් මට වෙලාවකට හිතෙනවා. තවත් වෙලාවකට මං පුතාලා ඉන්න මගේ නෑයෝ හැමෝටම කියනවා අනේ කොහොම හරි බබාව ආනන්දෙටම දාගන්න බලන්න. ඒත් ඇයි මං එහෙම කියන්නේ කියල අදටත් මට හිතා ගන්න බෑ. මං ඒ පන්සලට පුදුම විදිහට හදවතින් බැඳිලා මට හිතෙන්නේ එහෙමයි. ඒත් කිසිම හේතුවක් නැහැ.ලංකාවේ මෙච්චර ඉස්කෝල තියනවා ඇයි මං මේ ඉස්කෝලෙටම මෙච්චර කැමති කියලා මමම දන්නේ නෑ. අනික ඉතින් දේකට තදින් බැඳෙන්න හේතුවක් ඕනම නැහැ කියලයි මට හිතෙන්නේ මොකද මට ඕන්නෑ මගේ සමහර බැඳීම වලට  පටිච්චසමුප්පාදයක් බලපානවා කියලා හිතන්න. ඒක මට හිතෙන විදිහ මිසක් බුදු දහමට ගැරහීමක් වෙනවා කියලා මම හිතන්නෑ. තව හරි ලස්සන දෙයක් මම දන්නවා , හැම ආනන්දීයයෙකුටම විරහවක් නැති ආදර කතාවක් තියනවා කියලා මම දැනගත්තේ මේ ළඟදි, ඒකත් මූනු පොතෙන්, ආනන්දීයෙකුට කවදාවත් දාලා යන්න බැරි දාලා යන්නේ නැති පින්වන්ත පෙම්වතියක් ඉන්නවා, ඒ එයාලගේ ආදරනීය ආනන්ද මෑණියෝ. කොච්චර ලස්සන අදහසක්ද? හැම කෙනෙක්ටම තමන්ගේ ඉස්කෝලේ ගැන එහෙම හිතන්න පුළුවන් වෙන්න ඕන. සමහර විට එහෙම හිතන අයත් ඇති. මම මේ කියන කිසිම වචනෙකින් කිසිම ඉස්කෝලෙකටවත් කිසිම මනුස්සයෙක්ටවත් අගෞරවයක් වෙන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා,මං මගේ විශාඛාවට ආදරේ කරන තරම්ම, ආනන්දේ ගැනත් හැඟීමක් මගේ හදවතේ පැත්තක තියනවා,අන්න ඒක හින්දයි ආනන්දේ ගැන පුනා පුනා කියන්න මම පැකිළෙන්නෙත් නැත්තේ.ආහ් තව දෙයක් මම සමාජ ජාලා වෙබ් අඩවි පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ මට විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණා ඒ අතරේ ආනන්දීයයෝ කීප දෙනෙකුත් ඉන්නවා, අනිත් මිනිස්සු අතරේ ඒ ගොල්ලොන්ගේ මොකක් හරි පිරිසිදු වෙනසක් තියනවා කියලා මට දැනුනා, ඒත් ඒක මොකද්ද කියලා තේරුම් බේරුම් කරගන්න මට තාම තේරෙන්නෑ. සමහරවිට ඒකට කියන්නේ වැදගත්කම කියලා මගේ හිත කියනවා.මේක කියවන ආනන්දීයයෙකුට සමහරවිට හිතෙන්න පුළුවන් මේකිට වටිනවද මෙහෙම මගේ ආනන්දේ ගැන කියන්න කියලා, අනේ එහෙම නම් මට සිය දහස් වතාවක් සමා වෙන්න 😦

අනික තව දෙයක් මෙහෙම දෙයක් ප්‍රසිද්දියේ කිව්වම සමහර මිනිස්සුන්ට හරිම අමාරුයි , තමන්ගේ හිතේ තියන ආසාවක් හැඟීමක් ගැන කිව්වම විශේෂයෙන් මේ වගේ දෙයක් ප්‍රසිද්දියේ කිව්වම කියන්නේ එක්කෝ attention seeking, කියනවා එහෙමත් නැත්තන් ඔච්චරටම ඔය ඉස්කෝලෙට මැරෙන්න හදන්නේ කොල්ලෙක්වත් ඇති ඕකේ කියලා,ඒක මට සීයට දෙසීයක් විශ්වාසයි.මොකද සමහර මිනිස්සු හිතන්නේ ඒ තරම්ම පටු විදිහට කියලා මේ ජීවත් වෙච්ච අවුරුදු දහනවය ඇතුළේ මං ඉගෙන ගෙන තියෙන්නේ, මිනිස්සුවන්ව එළිපත්තෙන්  මනින මිනිස්සු කොහොමත් දකින්නේ මනුස්සයෙක්ගේ උඩ layer එක විතරයි කවදාවත් ඒ මනුස්සයාගේ නිදහස් හැඟීම දකින්නෑ අනික මම මෙහෙම කිව්වයි කියලා කියන හැම දෙයක්ම රුයිතෙටම ගන්න ගතිය අත අරින්නෙත් නැහැ. ඒක නිසා කවුරු කොහොම මං ගැන හිතුවත් මට ප්‍රශ්නෙකුත් නැහැ. අනික මම ආනන්දේ ගැන කිසිම දෙයක් ඇතුළාන්තෙන්ම දන්නේ නැහැ හැබැයි මගේ හිතේ මේ  ආනන්දේ ගැන තියන හැඟීම මට එහෙම උවමනාවක් ඇති කරවන්නෙත් නැහැ මං ආධ්‍යාත්මෙන්ම ඒකේ කොටස්කාරයෙක් කියලයි මට හිතෙන්නේ, ඒ නිසා මං කැමතියි  පුංචි මොටෙයියෙක් වගේ හදවතේ පැළවෙන ඒ හැඟීම එහෙමම තියනවට. ඒ වගේම මම මේ ගැන කතා කරද්දි ප්‍රාර්ථනා කරන තව දෙයක් තියනවා,ඒ මරණෙන් පස්සේ මට මනුස්ස ආත්මයක් ලැබුණොත්, ඒ ආත්මය පිරිමි ආත්මයක් උණොත්,මං කැමතියි මගේ අලුත් ජීවිතේ පුංචි සුදු කොට කළිසමකුයි ශර්ට් එක යට කරලා ඇඳලා කළු සපත්තු දාලා ඇඳලා, පුංචි බෑග් එකකුත් එල්ලගෙන අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා අර ලස්සන පන්සලක් වගේ සුදුවට බැබළෙන ආනන්ද මෑණියන්ගේ තුරුල්ලට ගිහින් පටන් ගන්න, එහෙම දෙයක් ලබන්න වාසනාව ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා.ac-viharaya

මං හිතනවා මං මේ කියපු කිසිම දේකින් ආදරණීය ආනන්ද මෑණියන්ට කිසිම අගෞරවයක් සිද්ධ උනේ නැහැ කියලා, ඒ වගේම මොකක් හරි වැරැද්දක් උනා නම් මං සමාව ඉල්ලනවා වගෙම යම්කිසි විදිහකින් ආනන්ද මෑණියන්ට අගෞරව වෙන විදිහ දෙයක් මගෙන් කිය වුණා නම් ආයේ බ්ලොග් ලියන්නෙත් නැහැ.

මම මේ පෝස්ට් එක දැම්මේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවන බව කරුණාවෙන් සළකන්න ( You know what I mean )